Connect with us

ඡායාරූප සටහන

ජනපති 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය විවෘත කරයි (ඡායා)

Published

on

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.

ජාති, ආගම් පදනමින් කිසිවෙකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය.

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස විවෘත කෙරිණි.

“වෙනසක් සඳහා නායකත්වය” යන තේමාව යටතේ පෙබරවාරි 20 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ  නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරට එක්ව සිටින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද මෙවර අවස්ථාව හිමිකර දී තිබීම විශේෂත්වයකි.

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර පටිය සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය  ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි.

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක්වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය ,බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටී.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාල දක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සංදර්ශන  ද ඊට ඇතුළත් වේ.  අද (21) සිට පෙරවරු  9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය :

10 වනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගී වී සිටිනවා. අද ඔබ මීට සහභාගී වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි, අද ඔබ මෙතනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයෙක් ලෙසයි. අප සියලුදෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතනට පැමිණි සියලුදෙනාටම පළමුව මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලුදෙනාගේ මේ සාමුහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනඟනවා. ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැ‍ඟෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා.ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වෙනවා.

බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මෙම වගකීම භාරගත් අවස්ථාවේදී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකියාවක් තිබෙනවද කියා. එය කළ හැකි බව එතුමා ප්‍රකාශ කළා. එබැවින් සියලුදෙනා එක්ව මෙම බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේ දී එම සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි.  මේ සඳහා ගැටළුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ 02ක ඉලක්කය සම්පූර්ණ කල විට එම වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමතියි. නමුත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර තුළින් නව දැනුම හා නව තාක්ෂණය ලබාදිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය ලබාදිය හැකියි. නව දැනුම ලබාදෙන මාර්ගයක් ලෙසත් මෙම බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසාදීමට මම බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මෙම බාලදක්ෂ ව්‍යාපාරය සමග එක් කිරීමට අපේ සහාය ලබාදෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වෙන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ  එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

බාලදක්ෂයන් පමණක් නොවෙයි අනිත් සියලුදෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරිමට තිබෙනවා. එය අප සියලුදෙනා විසින් ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලුදෙනාම දුක් වින්දා. විදුලි බලය තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ, ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ. තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අපි පසු කළේ. අපේ රට බංකොලොත් වුණා. නමුත් දැන් ක්‍රමානුකූලව එම බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන ලබාදුන් නමුත් තවත් අසීරුකම් තිබෙනවා. නමුත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි.

රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමෙන් පසු අප සියලුදෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැඟිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සූදානම් ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලුදෙනා එකතුවුවහොත් තවත් වසර 10-15ක් යන විට හොඳ රටක් බිහිකර ගත හැකියි. එය මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළයුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා. 

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ   නියෝජිත සයිමන් බොක්‍රේ,  බාලදක්ෂ කඳවුරු සංවිධායක කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ  කුසන්තා හේරත්,   නියෝජ්‍ය ජම්බෝරි නායක නියෝජ්‍ය කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

ඓතිහාසික ථූපාරාම රූප මන්දිරය සංරක්ෂණය කිරීම වෙනුවෙන්  එක්සත් ජනපදයේ සහයෝගය

Published

on

By

අද (17) දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ ඇතුළත් වී තිබෙන පොළොන්නරුව පුරාණ නගරය තුළ පිහිටා තිබෙන ප්‍රධානතම ස්ථානයක් වන ඉපැරණි ථූපාරාම පිළිම ගෙය ආරක්ෂා කිරීම සඳහා නව සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල
වෙතින් ලබාදුන් ඩොලර් 109,000 ක (රුපියල් මිලියන 32 ඉක්මවන මුදලක්) මේ සඳහා යොදවා ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගි විය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති  ‘Invest in Sri Lanka’ ආයෝජන සැසියට එක් වෙයි (ඡායා)

Published

on

By

චීන ජනාධිපති ෂී ජින්පිං  (Xi Jinping) මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ  එක් විය.

චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන්  (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සමාගම සීමාසහිත ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත  (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (  China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම සීමාසහිත (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සමාගම සීමාසහිත  (China Energy International Group Company Ltd),  ග්වංජෝ පොදු ප්‍රවාහන සමූහය ( The Guangzhou Public Transport Group), හුවාවේ (Huawei), බී.වයි. ඩී (BYD Auto) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සිටිති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාගම් ප්‍රධානීන් සමඟ සුහද පිළිසඳරකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Continue Reading

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved